Tuesday, July 21, 2015

සත්ව බෝග ඒකාබද්ධ ගොවිපළ ක්‍රමය

හැඳින්වීම
බෝග වගාව, සත්ත්ව පාලනය හා ශක්ති නිෂ්පාදනය යන විවිධ ක්‍රියාවලීන් එකම භූමියක සිදු කරමින් කරනු ලබන ගොවිතැන් රටාව “ඒකාබද්ධ ගොවිපල ක්‍රමය”ලෙස හැඳින්වේ.
මෙහිදී ඒකක ක්ෂේත්‍රයක කෘෂිකාර්මික බෝග වගාවත්, සත්ත්ව පාලනයට අවශ්‍ය පෝෂ වගාවත්, තෘණ, රනිල වගාවත්, ගොවිපළ සතුන් ඇති කිරීමත් එකිනෙක අතර සම්බන්ධතාවයක් ඇතිවන පරිදි සිදු කළ හැකිය. කෘෂිකාර්මික බෝග වල ඉවතලන කොටස් (බෝග අවශේෂ) සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීම සිදුවේ. ගොවිපළ සතුන්ගේ මළ මූත්‍ර භාවිතා කොට ජීව වායුව නිෂ්පාදනයත්, එමගින් බලශක්තිය නිපදවා ගැනීමත් සිදු කරන අතර ජීව වායුව නිපදවීමෙන් පසු පිටවන අපද්‍රව්‍ය (ස්ලරිය) ඉතා අගනා පොහොරක් ලෙස හා මත්ස්‍යයන් හා තාරාවන් වැනි සතුන්ගේ ආහාරයක් ලෙසද භාවිතා කරනු ලැබේ.
ඒකාබද්ධ ගොවිපළ ක්‍රමය (සමෝධානික කෘෂිකර්මාන්තය) මගින් කෘෂිකර්මාන්තයේ නිෂ්පාදකතාවය මෙන්ම ලාභදායීතාවයද වැඩි කරගත හැක. මෙය විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වැදගත් ය. එසේම මෙම ක්‍රමය අනාගතය සඳහා ඉතාම වැදගත් වේ. එයට හේතුව වැඩිවන ජනගහනය නිසා භූමිය සීමා වීමත්, අහරින් ස්වයංපෝෂිත වීමට දරණ උත්සහයත් නිසාය.
වාසි :-
  1. බෝග, සතුන් හා මත්ස්‍යයන් ඒකාබද්ධ ගොවිපළ ක්‍රමයෙන් නිෂ්පාදනය වැඩි කර ගත හැක. නිෂ්පාදනයේ වැඩි වීම මෙම අංශ තුනටම බලපායි.

  2. මෙම ක්‍රමය මගින් ගොවිතැනේ කාර්යක්‍ෂමතාවය වැඩිවන අතරම ස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය වේ.

  3. නිසි ස්වාභාවික සම්පත් භාවිතයෙන් ඒකාබද්ධ නිෂ්පාදන ක්‍රියාවලියක්, පෝෂක ප්‍රතිචක‍්‍රී කරණය, ආහාර සංරක්‍ෂණය, දුප්පත්කම පිටුදැකීම හා පාරිසරික සංරක්‍ෂණය ස්ථායීව පවත්වා ගැනීමට උපකාර කරයි.


සතුන් හා වාර්ෂික බෝග ඒකාබද්ධ ගොවිපල ක්‍රමය

මෙහිදී වාර්ෂික බෝග ලෙස වී වගාව, එලවළු වගාව, තෘණ වගාව හා ඇතැම් පළතුරු වර්ග යොදාගත හැක.
(01) වී - තෘණ - ගව ඒකාබද්ධ ගොවිපළ

කුඹුරු වල වී වගාවන් පුරන් වී ගිය ලියදිවල හා මායිම් ප්‍රදේශවල තෘණ වගාවන් කළ හැක. ගවයන් පෝෂණය සඳහා මෙම තෘණ සැපයිය හැකි අතර අස්වැන්න කැපූ පසු ගවයන් කුඹුරු වල ද දිගේලි කළ හැක. වී වගාව හා තෘණ වගාව පෝෂණය කිරීම සඳහා ගවයන්ගේ පොහොර යොදා ගත හැකි අතර පොහොර තෘණ සමග මිශ්‍ර කර ද කුඹුරු සඳහා යෙදිය හැක. මෙසේ යෙදිය යුත්තේ වී පැල සිටුවීමට සති දෙකකට පෙරය. එමගින් ප්‍රධාන බෝගය වන වී වගාවේ අස්වැන්න වැඩි කර ගත හැක.
මෙම ගොවිපල පිහිටුවා තිබෙන්නේ වියලි කලාපයේ හෝ මැදරට වියලි කලාපයේ නම් තෘණ වගාව සඳහා සිරැට්‍රෝ (Siratro) භාවිතා කළ හැක. එයට හේතුව සිරැට්‍රෝ සාර්ථකව වගා කළ හැක්කේ ජල වහනය හොඳින් සිදුවන තෙතමනය නොපවතින භූමියන් හි වීමයි.
මෙම ඒකාබද්ධ ක්‍රමයෙන් ලැබෙන වාසි
  1. වී අස්වැන්න වැඩිවන අතර එමගින් ගොවිපලේ ආදායම ඉහල යාම

  2. පොහොර සඳහා යන වියදම 50-70% පමණ අඩු වීම

  3. ගොවිපළේ ශාක ජෛවී බර (Forage Biomass) වැඩිවීම නිසා රඳවාගත හැකි ගවයින් සංඛ්‍යාව ඉහල යාම

  4. අධික වියලි නියං කාලවලදී සිරැුට්‍රෝ සාර්ථකව වැඩෙන නිසා වටිනා සත්ව ආහාරයක් ලෙස සැපයිය හැකි වීම

  5. මුළු අවුරුද්ද පුරාම ඒකාකාරී වූ ආහාර රටාවක් වර්ධනය වීම නිසා සතුන්ගේ නිෂ්පාදනය වැඩි වීම

(02) වී - මත්ස්‍ය ඒකාබද්ධ ගොවිපළ

කෘෂිකාර්මික රටක් ලෙස ලංකාවේ ප්‍රධාන වශයෙන් වී වගාව කරනු ලබන අතර, එය ජලාශ‍්‍රිතව වගා කරයි. එබැවින් වී හා මත්ස්‍ය ඒකාබද්ධ ගොවිපළ දැනට සාර්ථකව කරගෙන යනු ලබයි.
වාසි
  1. වී අස්වැන්න සමගම අගනා සත්ව ප්‍රෝටීන ද ලබා ගත හැකි වීම

  2. වී වගාවේ හාණිකර කෘමීන්, පණුවන්, ඇල්ගී, වල්පැල ආදිය මත්ස්‍යයන් කා දැමීම

  3. පසේ වාතනය දියුණු වීම

  4. මත්ස්‍යයන්ගේ මළ පහ පොහොරක් ලෙස වගාවට සැපයීම නිසා වී වගාව පෝෂණය වීම

  5. මසුන් ආහාර සෙවීම පිණිස ජලය කැළඹීමෙන් එහා මෙහා සංචරණය කිරීමෙන් ඛනිජකරණය වැඩි දියුණු වන අතර, පෝෂක ක්ෂේත්‍රය පුරා බෙදා හැරීමත් වාතනය වීමත් සිදුවේ

  6. වී පමණක් වගා කිරීමේදී අස්වැන්න අඩු වීමේ අවදානම මෙම ඒකාබද්ධ ක්‍රමයෙන් අඩු කරගත හැකිය

සුදුසු මත්ස්‍ය ප්‍රභේද තෝරා ගන්නා අයුරු
  1. වැඩි වර්ධන වේගයක් ඇති ප්‍රභේදයක් වීම

  2. නොගැඹුරු ජල ධාරිතාවයකට හුරු වීමට ඇති හැකියාව

  3. ඉහල උෂ්ණත්ව හා අඩු ඔක්සිජන් මට්ටම් දරාගැනීමට හැකි වීම

  4. වී පැල වලට හානි නොකරන ප්‍රභේදයක් වීම

  5. වෙළඳපොල වටිනාකමක් (ඉල්ලූමක්) ඇති ප්‍රභේදයක් වීම

  6. එම මසුන්ගේ සුලභතාවය

    මිරිදිය මසුන්ට වඩා කළපු මසුන්ට ඉහළ උෂ්ණත්වයක් දරා සිටීමේ හැකියාව ඇත. මෙහිදී වැදගත් කරුණක් වන්නේ සුදුසු වී ප්‍රභේදයක් සුදුසු මත්ස්‍ය ප්‍රභේදයක් සමග ඒකාබද්ධ කිරීමයි. එසේම මෙම ඒකාබද්ධ ක්‍රමයේදී වී වගාව සඳහා පළිබෝධ නාශක හා වල් නාශක භාවිතයෙන් වැලකිය යුතුය. පළිබෝධ හා වල් විනාශ කිරීමට සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කිරීම වඩාත් උචිතය. එමගින් පරිසර දූෂණය ද අවම කරගත හැක.

පළමු ක්‍රමය (The Captural System)

වී ක්ෂේත්‍රයට ජලය ගලා එන ජල මාර්ගය දිගේම එම ජල මාර්ගයේ සිටින මාළුන් (wild fish) කුඹුරට ඒමට සලස්වයි. මෙම ක්‍රමය වී වගා කරන සෑම ප්‍රදේශයකටම සුදුසුය. මේ සඳහා යන වියදමද කම්කරු ශ්‍රමයද ඉතා අඩුය. මාළු අස්වැන්න ගැනීමට පෙර කුඩා වලවල් හාරා ඔවුන් ඒවා තුළට යාමට සලස්වා අල්ලා ගනී. වී අස්වැන්න නෙලීමට දින කිහිපයකට පෙර මාළු අස්වැන්න ගත යුතුය.

දෙවන ක්‍රමය (The Concurrent System)

මෙහිදී ක්ෂේත්‍රය මුල සිටම වී වගාවට හා මසුන් ඇති කිරීමට සැකසිය යුතුය. මේ සඳහා වැඩි වියදමකුත් කම්කරු ශ්‍රමයකුත් අවශ්‍ය වේ. මේ ක්‍රමය වඩාත් සුදුසු වන්නේ වර්ග මීටර් 500ක වඩා විශාල වන කුඹුරකටය.
කුඹුරේ නියර සෙ.මී. 60 ක් පමණ උස් විය යුතු අතර ඉතා ශක්තිමත් විය යුතුය. එමගින් ජලය කාන්දු වීම වැලකෙන අතර පාංශු ඛාදනය හා විලෝපිකයන්ගේ පැමිණීමද වලකී. ජලය තරමක් සෙමින් ගලා යන සේ සකස් කළ යුතු අතර ඇතුළට එන ජලය පිළිබඳ සුපරික්‍ෂාකාරී විය යුතුය. එහි පළිබෝධ නාශක දියවී තිබේද නැතිද යන්න පිළිබඳවත් ආගන්තුක මසුන් (wild fish) පැමිණේද යන්න පිළිබඳවත් විමසිලිමත් විය යුතුය. තද වැසි කාලවලදී ජලය එන මාර්ගය වසා තැබිය යුතුය. එසේම ගංවතුර ආදියේදී මසුන් ඉවතට යාම වැලැක්වීමට පියවර ගත යුතුය.
කුඹුරේ ජල මට්ටම ඉතා අඩු නම් විලෝපිකයන්ට ගොදුරු වීම වැඩි වන අතර, උෂ්ණත්වය ද ඉහල යා හැක. මෙය වැලැක්වීමට කුඹුරේ මායිම වටා හෝ කුඹුර හරහා අගලක් වැනි කානුවක් කැපිය යුතුය.
එක් කුඹුරකට යෙදිය යුතු මසුන් ප්‍රමාණය කුඹුරේ ප්‍රමාණය අනුවත්, මසුන්ගේ ප්‍රමාණය අනුවත් වෙනස් වේ. ජලයේ ගැඹුර සෙ.මී. 5 - 7.5 වන කූඹුරක සෙ.මී. 2-3 වන මසුන් 3500 ක් පමණ ඇති කළ හැක. වී වගා කාලය තුළදී මොවුන් සෙ.මී. 10 පමණ දක්වා වර්ධනය විය හැක.
සුදුසු මත්ස්‍ය ප්‍රභේද
  • Caprinus carpio

  • Tilapia spp

  • Trichogaster pectoralis

  • Cat Fishes

  • Haplochromis mellandi

  • Ophicephalus

  • Astatoreochromis

  • Labyrinth Fishes

  • Catla catla
මින් වඩාත් සුදුසු වන්නේ සාමාන්‍ය කාපයාය (Common Carp). ඔවුන්ගේ ජීවත්වීමේ හැකියාව ඉතා ඉහලය. තිලාපියා වර්ග ද (Tilapia spp) සාර්ථක ප්‍රතිඵල ගෙන දේ. ඔවුන් ඉහල ජල උෂ්ණත්ව දරා ගනී.
පොහොර යෙදීම

වී හා මසුන් යන දෙවර්ගයේම පැවැත්ම හා වර්ධනය රඳා පවතින්නේ ලබා දෙන පොහොර මතය. යෙදිය යුතු පොහොර වර්ගය, ප්‍රමාණය හා යොදන ක්‍රමය ක්ෂේත්‍රයේ පස් වර්ගය මත හා ගොවියාගේ පුරුද්ද අනුව වෙනස් වේ.

(03) වී - මත්ස්‍ය - ඇසොල්ලා - තාරා ඒකාබද්ධ පාලන ක්‍රමය

වී - මත්ස්‍ය ඒකාබද්ධ ගොවිපළ ක්‍රමය කුඩා පරිමාණයේ ගොවීන්ට සාර්ථක ආර්ථික මාර්ගයක් වුවත්, සමහර අවස්ථාවලදී වී ක්ෂේත්‍රය තුළ මසුන් සඳහා ප්‍රමාණවත් ආහාර හිඟවීමත් වී ශාකය පඳුරු ආකාරයට වැඩෙන නිසා බලාපොරොත්තු වූ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වනු ඇත.
මේ ගැටළුව මගහැරීම සඳහා මෙම ක්ෂේත්‍රයටම ඇසොල්ලා ජලජ ශාකයත්, තාරාවනුත් හඳුන්වා දිය හැක. මෙමගින් වැඩි පෝෂණයක් ක්ෂේත්‍රයේ රඳා පැවැතීම නිසා වැඩි මත්ස්‍ය හා වී නිෂ්පාදනයක් ලබා ගත හැක.
වාසි :-
  • ගොවිපළේ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම
  • පෝෂණ තත්ත්වය වැඩි දියුණු වීම නිසා, සරු අස්වැන්නක් ලැබීමත්, එමගින් ආදායම ඉහළ යාම

  • පළිබෝධ පාලනය

  • ආහාර සැපයුම ඉහළ යාම
ඇසොල්ලා යනු ජලජ පර්ණාංගයකි. ජලයේ පාවෙන ශාකයක් වන මෙය ගොවීන් විසින් කුඹුරු වල ව්‍යාප්ත කරනුයේ නැවත පැළ සිටුවන කාලයේදීය. ඇසොල්ලා පත්‍ර මත නීල හරිත ඇල්ගී ගහණය කරනු ලබන මධ්‍ය කුහර පිහිටා ඇත. ඒවා මගින් වායුගෝලීය නයිට‍්‍රජන් තිර කරනු ලබයි. වියලි කාලවලදී මෙම ඇසොල්ලා ශාක මැරී යන අතර එහි පෝෂක අනාගත වී පැල සඳහා පසට එකතු කරනු ලබයි.

(04) එළවළු - තෘණ - ගව ඒකාබද්ධ ක්‍රමය

කුඩා පරිමාණ ගොවීන් පරිභෝජනය සඳහා මෙන්ම ආදායම් මාර්ගයක් ලෙස එළවළු වගා කළද බලාපොරොත්තු ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වේ. නමුත් ඒකාබද්ධ ගොවිපල ක්‍රමයක් මගින් සාර්ථක ප්‍රතිඵල ලඟා කර ගත හැක.

වාසි :-
  • ප්‍රධාන බෝගය වන එළවළු අස්වැන්න වැඩි කර ගත හැකි වීම

  • තෘණ වගාව මගින් පස සාරවත් වීමත්, සෝදායාම වැලැක්වීමත් සිදු වීම

  • තෘණ, ගවයන්ගේ පෝෂණය සඳහා ආහාර ලෙස දිය හැකි වීම

  • පොහොර සඳහා යන වියදම අඩු කර ගත හැකි වීම

  • ජීව වායුව නිපදවා ගැනීමට හැකි වීම
එළවළු වගාව තීව්‍ර (Intensive) ක්‍රමයට කරන බැවින් සිදුවිය හැකි පස සෝදා යාම වැලැක්වීම සඳහා තෘණ වැටි යෙදිය හැක. මේ සඳහා නේපියර් ක්ලෝන 13 වැනි පෝෂ තෘණ යොදා ගත හැක. භූමියේ බෑවුම් සහිත ප්‍රදේශයන් හි තෘණ වැටි සමෝච්ඡආකාරයට යොදා ගත හැක.
ගව මූත්‍රා, ගොම සමග ගොවිපළේ අනෙකුත් අපද්‍රව්‍ය යොදා ජීව වායුව නිපදවා ගත හැක. එය නිවසේ කටයුතු සඳහා යොදා ගත හැකි අතර, ඉතිරිවන පොහොරමය කොටස (Slurry) එළවළු හා තෘණ වගාව පෝෂණය කිරීමට යොදා ගත හැක.

(05) එළවළු - මත්ස්‍ය ඒකාබද්ධ ක්‍රමය

භූමිය ඉතාම සීමාසහිත ගොවීන්ට මෙම ගොවිපල යෝග්‍ය වේ. මෙහිදී මත්ස්‍ය පොකුණේ ඉවුර ඉතා ශක්තිමත්ව නිම කළ යුතුය. තෘණ වගා කර ඉවුර ආරක්‍ෂා කිරීම හෝ සිමෙන්ති බැම්මක් යෙදීමෙන් ඉවුර ආරක්‍ෂා කර ගත හැක. ඉන් පසු පොකුණේ ඉවුර වටා (ඉවුරට අඩි 3ක් ඈතින්) එළවළු වගා කිරීම කළ හැක.
එතරම් පස් බුරුල් කිරීමක් අවශ්‍ය නොවන බණ්ඩක්කා, වට්ටක්කා, තක්කාලි, මිරිස්, බටු ආදිය පොකුණ වටා වගා කළ හැක. වට්ටක්කා බෝගය වැතිරී වැඩෙන හෙයින් පස ආරක්‍ෂා වේ. එළවළු වගාවේ සාරවත් බව වැඩි කිරීමට පොකුණේ රොන් මඩද, ජල අවශ්‍යතාවයද පොකුණෙන් සපයා ගත හැක. තවද මසුන්ගේ ප්‍රයෝජනය සඳහා පොකුණු ජලයේ ලෙමා වැනි ශාක වගා කර ගත හැක.

(06) එළවළු - මත්ස්‍ය - තාරා - ඌරන් ඒකාබද්ධ පාලන ක්‍රමය

මෙම ඒකාබද්ධ පාලන ක්‍රමයෙන් භූමියේ සම්පත් මනා ලෙස කළමනාකරණය වන අතර, පරිසර දූෂණය අවම කර ගනිමින් වැඩි නිෂ්පාදනයක් ද ලබා ගත හැක. මත්ස්‍ය පොකුණත්, පොකුණේ පසෙකින් සාදාගත් තාරා නිවාසයත් තාරාවන් පාලනය සඳහා යොදා ගත හැක. ඌරු නිවාස ද පොකුණ අසලින්ම ගොඩනැගීමෙන් අවශ්‍ය විටෙක ඔවුන්ගේ අපද්‍රව්‍ය ද පොකුණට යොදා ගත හැක.
මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ පොකුණේ ප්‍රමාණයට ගැලපෙන ලෙස පොහොර යෙදීමයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර යෙදීමෙන් මත්ස්‍ය ගහණයේ පැවැත්මට හානිදායක විය හැක. සාමාන්‍යයෙන් නිවර්තන රටවල මත්ස්‍ය පොකුණු සඳහා නිර්දේශිත ඌරු පොහොර ප්‍රමාණය වන්නේ දිනකට හෙක්ටයාරයකට කි. ග්‍රෑම්. 100-200 කි. නිර්දේශිත තාරා පොහොර ප්‍රමාණය වන්නේ දිනකට හෙක්ටයාරයකට කි. ග්‍රෑම්. 100-120 කි.
පොකුණේ වපසරිය අනුව තම පොකුණට යෙදිය යුතු පොහොර තීරණය කළ හැකි අතර එළවළු අපද්‍රව්‍ය යොදා සාදන කොළ පොහොරක් මිශ්‍ර කරන බැවින් එම යොදන අනුපාතයට ඌරු හා තාරා පොහොර අඩු කර යෙදිය යුතුය. තාරා හා ඌරු පොහොර මගින් පොකුණේ ශාක ප්ලවාංගත්, සත්ත්ව ප්ලවාංගත්, මසුන් වර්ධනයත් වැඩි කර ගත හැකි අතර, පොකුණේ රොන් මඩ පොහොරක් ලෙස එළවළු වගාව සඳහා යෙදිය හැක. වගාවට අවශ්‍ය ජල අවශ්‍යතාවය ද පොකුණ මගින් සපයා ගත හැක. එළවළු ඉතිරි කොටස්, අපද්‍රව්‍ය හා ගොවිපලේ අනිකුත් අපද්‍රව්‍ය ඌරන්ගේ ආහාර සමග මිශ්‍ර කර දිය හැක.
වාසි :-
  • භූමිය නිසි ලෙස භාවිතා කිරීමත්, ස්වාභාවික සම්පත් මනා ලෙස කළමනාකරනයත් සිදුවේ

  • පරිසර දූෂණය අවම කර ගත හැකි වේ. මෙම ඒකාබද්ධ ක්‍රමයේ අංශ හතරේම නිෂ්පාදන වැඩි කර ගත හැකි වේ

  • මත්ස්‍යයන් සඳහා යන ආහාර වියදම අවම කරගත හැකි වීම

  • එළවළු සඳහා වැයවන පොහොර වියදම ඉතිරි කර ගත හැකි වීම

එක් නිෂ්පාදනයක් පමණක් කිරීමෙන් වන අවදානම අඩු කරගත හැකි වීම
  • ගොවිපළේ අපද්‍රව්‍ය එක් එක් නිෂ්පාදනයන් සඳහා චක‍්‍රීයව යෙදවීම

(07) කෙසෙල් - තෘණ - එළු ඒකාබද්ධ පාලනය

පලතුරු බෝග අතරින් කෙසෙල් වගාවට හිමිවන්නේ වැදගත් තැනකි. බොහෝ ගොවීන් කෙසෙල් වගාව සඳහා යොමු වී ඇත්තේ ඉක්මනින් ආදායමක් ලබා ගැනීමටත් අනෙකුත් පළතුරු බෝගයන් මෙන් වගා කාලය මුළුල්ලේම අවධානයක් අනවශ්‍ය බැවිනුත් ය. එසේම කෙසෙල් ලංකාවේ ඕනෑම පළාතක සාර්ථකව වගා කළ හැක. එහෙයින් මෙම ඒකාබද්ධ ගොවිපළ ක්‍රමයෙන් වැඩි ආදායමක් ලබා ගත හැක.
මෙහිදී කෙසෙල් පැල අතර පරතරය මීටර් 4 x 4 ලෙස භාවිතා කිරීමෙන් වඩා වැඩි ආලෝක ප්‍රමාණයක් තුළ තෘණ වගාව සාර්ථකව වගා කළ හැක. නිර්දේශිත අනෙක් පරතරය වන මීටර් 2.7 x 2.7 තුළ ද තෘණ වගාව සිදු කළ හැක.
එළුවන් ක්‍රම දෙකකට ඇති කළ හැක. එනම් තීව්‍ර (intensive) ක්‍රමය හා අඩ තීව්‍ර (semi intensive) ක්‍රමයයි. තීව්‍ර ක්‍රමයේදී එළු නිවාස තුළ එළුවන් ඇති කරන අතර ඔවුන්ගේ ආහාර සඳහා අස්වැන්න නෙලා ගත් කෙසෙල් කඳන් හා පත්‍ර කැබලි වලට කපා දිය හැක. එළුවන්ගේ අපද්‍රව්‍ය පොහොර ලෙස වගාවට යෙදිය හැක.
අඩ තීව්‍ර ක්‍රමයේ දී එළුවන් තෘණ කෑම සඳහා ක්ෂේත්‍රයේ දිගේලි කර තැබිය හැක. මෙහිදී ඔවුන් කෙසෙල් ගස්වලට ලඟා නොවන ලෙස බැඳ තැබිය යුතුය. එමගින් පොහොර කෙලින්ම ක්ෂේත්‍රයට ලැබෙන අතර කම්කරු ශ්‍රමයද අවම කර ගත හැක.

(08) පළතුරු - තෘණ - මත්ස්‍ය ඒකාබද්ධ පාලනය

කුඩා භූමියක් ඇති ගොවීන්ට මෙම ඒකාබද්ධ පාලන ක්‍රමය සුදුසු වේ. මෙහිදී මත්ස්‍ය පොකුණේ ඉවුර වටා කුඩා පළතුරු ගස් වගා කළ හැක. පේර, අන්නාසි, ජම්බු හා වැල් දොඩම් වැනි කුඩා පළතුරු ශාක මේ සඳහා සුදුසු ය.
පොකුණේ ඉවුර වටා තෘණ වගා කළ හැක. එමගින් ඉවුරේ පාංශු ඛාදනය වීම ද වලකී. මත්ස්‍ය පොකුණේ රොන් මඩ පොහොර ලෙස පළතුරු වගාවටත් තෘණ වගාවටත් යොදා ගත හැක. ගොවිපලේ හා නිවසේ ඉතිරි වන අපද්‍රව්‍ය මත්ස්‍ය පොකුණේ හා මසුන්ගේ පෝෂණය සඳහා ලබා දිය හැක. කුඩා භූමියක වුවත් නිවස මායිමේම එක් ගවයෙකු හෝ ඇති කරන්නේ නම් පොකුණ වටා ඇති තෘණ කපා දී පෝෂණය කරමින් මෙම ඒකාබද්ධ පාලන ක්‍රමය යටතේම පාලනය කළ හැක.
(09) පළතුරු - තෘණ - ගව ඒකාබද්ධ පාලනය

බහු වාර්ෂික පළතුරු වගා කරන ලද ක්ෂේත්‍රයක ද ඉතා පහසුවෙන් ඒකාබද්ධ ගොවිපළ ක්‍රමය ක්‍රියාත්මක කළ හැක. මෙහිදී දොඩම්, අඹ, රඹුටන්, මැංගුස්, පේර, අලිපේර ආදී පළතුරු වගාවක යටි වගාව ලෙස තෘණ වගා කළ හැක. තෘණ ලෙස බ්‍රැකේරියා බ්‍රිසන්තා යොදා ගත හැක.
මෙම තෘණ වගාව නිසා පළතුරු වගාවේ පස ආරක්‍ෂා වීමත් පෝෂණය වීමත් සිදුවේ. පාංශු ඛාදනය වැළැක්වීමට පෝෂ තෘණ වන නේපියර් ක්ලෝන 13 වැනි තෘණ වගා කළ හැක. ගොවිපළේ ගවයන් සඳහා මෙම තෘණ කපා දිය හැක. ගවයන්ට නිදහසේ තෘණ කෑමට ඉඩ හැරීමෙන් පළතුරු ගස් වලට හානි සිදු විය හැක. ගව පොහොර සමග මිශ්‍ර කර පළතුරු වගාවත් තෘණ වගාවත් සාරවත් කිරීමට යොදා ගත හැක.
සතුන් හා බහුවාර්ෂික බෝග ඒකාබද්ධ ගොවිපල ක්‍රමය

වාසි :-
  1. ගුණාත්මක තෘණ මෙන්ම අතුරු නිෂ්පාදන ද (සතුන්ට ප්‍රයෝජනවත් වන) අවශ්‍ය කාලයට අවශ්‍ය ප්‍රමාණවලින් නිෂ්පාදනය වීම

  2. තෘණ මෙන්ම රනිල ශාක වර්ගයන්ගේ නිෂ්පාදනය ඉහල යාම

  3. සතුන්ට මෙන්ම බෝගයන්ට ද හිතකර යෝග්‍ය පරිසරයක් නිර්මාණය වීම

  4. සතුන්ගේ නිෂ්පාදන හැකියාව ඉහල යාම

  5. බහු වාර්ෂික බෝගයන්ගේ නිෂ්පාදනය ඉහල යාම (පොල්, රබර්, තේ)

  6. වල් පැල නෙලීමට යන වියදම ඉතිරිවීම

  7. ගොවිපළ සතුන්ගේ (ගව, එළු, ඌරු, කුකුල්) පොහොර භාවිතය කිරීමෙන් පොහොර සඳහා යන වියදම අවම කිරීම

  8. එසේම ඔවුන්ගේ අපද්‍රව්‍ය මගින් ජීව වායු නිපදවා එය ශක්ති ජනකයක් සේ යොදාගත හැකි වීම

  9. එක් බෝගයක් හෝ සත්ව වර්ගයක් ඇති කිරීමෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වය මග හරවා ගත හැකි වීම

  10. ස්වභාවික සම්පත් උපරිම ලෙස කාර්යක්‍ෂමව භාවිතා කිරීම නිසා චිරස්ථායී පරිසර පද්ධතියක් නිර්මාණය වීම

  11. පරිසර දූෂණය අවම කර ගත හැකි වීම

(10) තේ - තෘණ - ගව ඒකාබද්ධ පාලන ක්‍රමය

තේ වතුවල පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි ඒකාබද්ධ ගොවිපළ ක්‍රමයකි. කුඩා තේ වතු හිමියන්ට වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට මෙමගින් හැක. විශාල තේ වතු වල වුවද තේ වගා නොකර ඇති ප්‍රදේශවල තෘණ වගා කිරීමත් ගව පාලනයත් සිදු කළ හැක.
වතු නිවාසවල ගොවීන්ගේ ගව පාලනය සඳහා පොදු ගව ගාල් හඳුන්වා දී ඇත. තේ වගා නොකරන කොටස්හි නේපියර් ක්ලෝන 13 වැනි උසස් තෘණ වර්ග වගා කළ හැක. එසේම භූමියේ පාංශු ඛාදනය වැලැක්වීමට සමෝච්ඡවැටි ආකාරයට පෝෂ තෘණ වගා කළ හැකි අතර ඒවා ද ගවයන්ගේ ආහාර සඳහා යොදා ගත හැක.
ගවයන්ගේ ගොම තේ වගාවේ හා තෘණ වගාවේ පෝෂණය සඳහා යොදා ගත හැකි අතර, ගව මූත්‍රා හා ගොම මගින් ජීව වායු නිෂ්පාදනයද සිදු කළ හැක. ජීව වායුව නිවසේ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගත හැකි වන අතර ඉතිරි වන කොටස පොහොර ලෙස ක්ෂේත්‍රයට එක් කළ හැක.
වාසි :-
  1. භූමියේ නිෂ්පාදකතාවය වැඩි

  2. තේ වතුවල වැඩ කරන ගොවීන්ට ආදායම් වැඩි කර ගත හැකි වීම

  3. ප්‍රධාන බෝගය වන තේ සඳහා ස්වභාවික පොහොර යෙදිය හැකි වීම හා එමගින් පොහොර සඳහා යන වියදම අඩු කිරීම

  4. තෘණ වගා කිරීම නිසා භූමියේ පස සංරක්‍ෂණය වීම හා පාංශු ඛාදනය වැලැක්වීම

  5. ගොම හා ගව මූත්‍රා යොදා ජීව වායුව නිපදවීම මගින් එය නිවසේ පරිභෝජනය සඳහා යොදා ගත හැක. ඉතිරි වන කොටස (slurry) පොහොර ලෙස වගාවන්ට යෙදිය හැක

  6. ගව පාලනයෙන් ලැබෙන නැවුම් එළකිරි නිවසේ පරිභෝජනය සඳහාද අමතර ආදායමක් ලබා ගැනීම සඳහාද ප්‍රයෝජනවත් වේ.

(11) තේ - තෘණ - එළු ඒකාබද්ධ පාලනය
ඉහත ආකාරයෙන්ම කුඩා තේ වතු හා මහා පරිමාණ වතුවල මෙම ඒකාබද්ධ පාලනය ක්‍රියාත්මක කළ හැක. මෙම ගොවිපළ ක්‍රමයේ දී එළුවන් පාලනය කිරීම නිවසේ කාන්තාවකට හෝ වැඩුනු ළමයෙකුට හෝ කළ හැකි වීම විශේෂ වාසියකි.

(12) රබර් - තෘණ - ගව ඒකාබද්ධ ගොවිපළ ක්‍රමය

බහු වාර්ෂික රබර් වගාව සමග ඒකාබද්ධ ගොවිපළ ක්‍රමය බහුල වශයෙන් ක්‍රියාත්මක නොවුවද මෙවැනි තෘණ හා ගව ඒකාබද්ධ (සමෝධානික) ක්‍රමයක් පහසුවෙන් කළ හැක. මෙහිදී තෘණ වශයෙන් තෝරා ගත යුත්තේ වැතිරී වැඩෙන පියුරේරියා, කැලපොගෝනියම් වැනි රනිල වර්ගයන්ය. මේවා මගින් පාංශු ඛාදනය වැළකෙන අතරම පස ආරක්‍ෂා වීමක් සිදු වේ.
නමුත් රබර් වගාව තුළ තෘණ කෑම සඳහා ගවයන් නිදැල්ලේ නොයැවිය යුතුය. එයට හේතුව ඔවුන් රබර් කිරි බීමට යොමු වීමයි. එය ගවයන්ගේ සෞඛ්‍යයට අහිතකර වේ. කිරි කැපීමට පෙර ඔවුන් යැවිය හැකි වුවත් රබර් පැලවලට හානි සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. එහෙයින් වඩාත් සුදුසු වන්නේ තෘණ කපා ආහාර පිණිස සැපයීමයි.

(13) පොල් - අන්නාසි - තෘණ - ගව ඒකාබද්ධ ගොවිපළ

බහුවාර්ෂික බෝග අතරින් ඒකාබද්ධ ගොවිපළ ක්‍රමය ඉතා සාර්ථකව සිදු කරනුයේ පොල් වගාව තුළය. පොල් ත‍්‍රිකෝණය තුළ ඒකාබද්ධ පාලන ක්‍රමය ජනප්‍රිය වී ඇත. පොල් වගාව තුළ ඇති ඉඩ ප්‍රමාණත් මායිම් ප්‍රදේශත් ප්‍රයෝජනයට ගෙන අන්නාසි, තෘණ ආදිය වගා කළ හැක.
ගවයින් තෘණ කෑම සඳහා නිදැල්ලේ යැවිය හැකි වුවද අන්නාසි වගාවට හානි නොවන සේ රැුක බලා ගත යුතුය. එමගින් අමතර කම්කරු ශ්‍රමයකින් තොරව ගව මූත්‍රා, ගොම ආදිය වගාවන්ට සැපයේ. නැතහොත් තෘණ කපා ගව ගාල් වෙත සැපයීමද සිදු කළ හැක. පොල් ගසෙන් ඉවතලන පොල් ලෙලි, කොහුබත් ආදිය ගොම මූත්‍රා සමග මිශ්‍ර කර ස්වභාවික පොහොර නිෂ්පාදනය කිරීමද කළ හැකි අතර, එමගින් අමතර ආදායමක් මෙන්ම පොල්, අන්නාසි හා තෘණ වගාවන් සඳහා පෝෂණය සැපයීමද කළ හැක. එසේම ජීව වායුව සෑදීම සඳහාත් යොදා ගත හැක.

(14) පොල් - එළවළු - තෘණ - මත්ස්‍ය - ගව ඒකාබද්ධ ගොවිපළ

මෙම ක්‍රමයේදී පොල් වගාව තුළම මත්ස්‍ය පොකුණ පවත්වා ගත හැක. මත්ස්‍ය පොකුණ වටා හෝ ඒ ආසන්නයේ එළවළු වගා කළ හැක. එසේම පොල් වගාව අතර තෘණ වගා කළ හැකි අතර ගවයින් පොල් ගස්වල දිගේලි කර තෘණ කෑමට සැලැස්විය හැක. තෘණ, එළවළු හා පොල් වගාවේ අතුරු කොටස් පොහොර ලෙස මසුන්ගේ හා මත්ස්‍ය පොකුණේ පෝෂණය සඳහා සැපයිය හැක.
මෙම ගොවිපළේ අපද්‍රව්‍ය යොදා ජීව වායුව සෑදීමටත්, ඉන් ඉතිරි වන කොම්පෝස්ට් පොහොර ලෙස වගාවට යෙදීමටත් හැක. එළවළු වගාවට අවශ්‍ය ජල අවශ්‍යතාවයන් පොකුණෙන් සපයා ගත හැක.
ඉහත සාකච්ඡා කරන ලද සත්ව හා බෝග ඒකාබද්ධ ගොවිපළ ක්‍රමයන් ගොවීන්ගේ කැමැත්ත අනුව, ඉඩමේ ප්‍රමාණය අනුව හා තිබෙන සම්පත් ප්‍රමාණය අනුව වෙනස් කර ගනිමින් උපරිම ප්‍රයෝජනයක් හා වැඩි ආදායමක් ලබා ගන්න

No comments:

Post a Comment