Sunday, October 16, 2022

මිරිස් වගාව නිවැරැදිව

 


මිරිස් වගාව

නිර්දේශිත ප්‍රභේද හා බීජ/ පැළ අවශ්‍යතාවය

බීජ/ පැළ අවශ්‍යතාවය

අක්කරයක් සඳහා ග්‍රෑම් 400ක් පමණ ද හෙක්ටයාර 1ක් සඳහා බීජ ග්‍රෑම් 1000(1kg)ක් අවශ්‍ය වේ.

එක වලක පැළ 2 බැඟින් හෙක්ටයාරයක බිමක මිරිස් වගා කිරීම සඳහා බීජ පැළ 60000-70000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. ප්‍රරෝහණ ප්‍රතිශතය 75%කට වැඩි බීජ ග්‍රෑම් 1000ක් තවාන් දැමීමෙන් මෙම පැළ ප්‍රමාණය ලබා ගත හැකි වේ. (සාමාන්‍යයෙන් මිරිස් බීජ ග්‍රෑම් 1000ක බර ග්‍රෑම් 5ක් පමණ වේ. බීජ ග්‍රෑම් 1ක අඩංගු බීජ ප්‍රමාණය 160 ත් 400 අතර වේ) කරල් වලින් ඉවත් කර වියළි තත්වයේ ඇති බීජ පොලිතින් උරවල බහා කාමර උෂ්ණත්වයේ මාස 6ක් පමණ ද ගෘහස්ථ ශීතකරණයක් තුළ වසර 2ක් පමණ කාලයක් ද බීජ වල ගුණාත්මයට හානි නොවන සේ තබාගත හැකිය. මිරිස් බීජ වල සුප්ත කාලයක් නොපවතින බැවින් ඉදුණු කරලින් වෙන්කර ගත් බීජ වුව ද තවාන් කිරීමට යොදාගත හැකිය.

නිර්දේශිත ප්‍රභේද

එම්.අයි. 1

එම්.අයි. 2

කේ.ඒ. 2

අරුණළු

එම්.අයි. හොට්

එම්.අයි. ග්‍රීන්

ගල්කිරියාගම වරණය

එම්.අයි වැරණියා 1

එම්.අයි.සී.එච්.3

දෙමුහුම් ප්‍රභේද

වෙනත් වගා දර්ශ

එම්.අයි. 1

1962 වර්ෂයේ නිර්දේශ කරන ලද මෙම ප්‍රභේදය Myliddy x Tuticorin යන වර්ග දෙක මුහුම් කිරීම මඟින් ලද ප්‍රතිඵලයකි. මෙම ප්‍රභේදයේ ශාක සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 65-75 ක් පමණ උසට වැඩෙන අතර, උසස් පාලන තත්ත්ව යටතේ දී මීට වඩා උසට ද වැඩේ. එතරම් අතු පතර විහිදී නොයයි, පත්‍ර සෙසු ප්‍රභේදවලට වඩා පුළුල්ය. වසර 50 කට වඩා පැරණි මෙම ප්‍රභේදයේ ප්‍රවේණික පාරීශුද්ධතාවය පිරිහීමට ලක්ව ඇති බැවින් මෙහි ආරම්භක ලක්ෂණ මේ වන විට පරිහානියට ලක්ව ඇත.

සිහින්, දිගැති කරල් සෙන්ටි මීටර් 9-13 ත් අතර දිගකින් යුක්ත වන අතර, කරලේ අග දක්වා ක්‍රමයෙන් සිහින්ව ගොස් අග කොටස උලක හැඩය ගනී. ළපටි කරල් තද කොළ පැහැතිය. කරල් පැසීමේ දී ක්‍රමයෙන් තද දම් පැහැය මිශ්‍ර වූ කොළ පැහැයකට හැරී පසුව රත් පැහැවේ. උසස් පාලන තත්ත්ව යටතේ ආර්ථික ජීවිත කාලය මාස 6-7 ක් පමණ වේ. බීජ වැපිරීමේ සිට මල් පිපිමට ගතවන කාලය සෙසු ප්‍රභේදවලට වඩා තරමක් වැඩිය. අමු මිරිස් නිෂ්පාදනය සඳහා ගොවීන් අතර ප්‍රචලිත වූ ප්‍රභේදයකි.

ආපසු ^

එම්.අයි. 2

එම්.අයි. 1 ප්‍රභේදයේ වරණයකි (Selection). මෙම ප්‍රභේදය 1974 දී නිර්දේශ කර ඇත. වියළි කලාපයේ රතු දුඹුරු පස්වල වගා කළ විට සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 50-55 ක් පමණ උසකට වැඩෙන අතර ඉතා හොඳ පාංශු තත්ත්ව යටතේ සෙන්ටි මීටර් 75 ක් පමණ වුවද උසට වැඩේ. මැනවින් අතු බෙදී තිරස් අතට පැතිරේ. පර්ව ඉතා කෙටි බැවින් ශාකය පඳුරක් ලෙස (Compact Bush) ඝනව වැඩේ. මැනවින් වැඩුණු ගසක් කප්පාදු කළ කුඩා තේ පඳුරක් ලෙස දිස්වේ. තිරස් අතට අතු වැඩෙන බැවින් අස්වනු නෙළීම පහසු වේ.

කරලක සාමාන්‍ය දිග සෙන්ටි මීටර් 5-8 ක් අතර වේ. කරල ක්‍රමයෙන් මුල සිට අග දක්වා සිහින් වේ. කරල් අග මොට වී ඇත. හොඳින් පැසුණු කරල් තද කොළ පැහැයෙන් යුක්තය. ආර්ථික ජීවිත කාලය මාස 5-6 ක් පමණ වේ. සිටුවා දින 80-90 කින් පමණ අස්වනු නෙළීම ආරම්භ කළ හැකි වේ. දින 7-10 කට වරක් බැගින් කීප වාරයක් අස්වනු නෙළිය හැකි වේ. කරලක අඩංගු බීජ ප්‍රමාණය අනෙක් වර්ගවලට සාපේක්ෂව වැඩි නිසා කරල් බරින් වැඩිය.

එබැවින් වියළි මිරිස් ඒකකයක් නිපදවීමට අවශ්‍ය වන ඉදුණු මිරිස් ඒකක ගණන 3.5 ට අඩුය. මෙය සෙසු ප්‍රභේදවල 4ක් ඉක්මවයි. යල කන්නයේ දී හා මහ කන්නයේ අතිරේක ජල සම්පාදනය යටතේ හෙක්ටයාරයකට ටොන් 2.5-3.0 ක් පමණ ද, මහ කන්නයේ දී වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ ටොන් 1.0-1.5 ක් පමණ ද, වියළි මිරිස් අස්වැන්න ලබා ගතහැකි වේ. තව ද අමු මිරිස් සඳහා ද මෙම ප්‍රභේදය වගා කළ හැක. ගොවීන් අතර වඩාත් ප්‍රචලිත ප්‍රභේදයකි.

සැර භාවය අතින් ඉතා ඉහළ ප්‍රභේදයකි.

ආපසු ^

කේ.ඒ. 2

එම්.අයි. 2 හා පී.සී-1 (MI -2 X PC-1) යන ප්‍රභේදයන් මුහුම් කර නිපදවූ මෙම ප්‍රභේදය 1991 වර්ෂයේ දී නිර්දේශ කර ඇත. මුල් කාලයේ දී ශාකයේ හැඩරුව හා වර්ධන විලාශය එම්. අයි. 2 ප්‍රභේදයට සමාන වේ. වර්ධනයේ පසු අවධියේ දී මැනවින් අතු විහිදී යයි. ඝනව නොවැඩෙන ලිහිල් පත්‍ර වියනක් සහිත වේ. සාමාන්‍යයෙන් ශාකය සෙන්ටි මීටර් 50-60 ක් පමණ උසට වැඩේ. කරල් සෙන්ටි මීටර් 8-11 ක් පමණ දික්වන අතර එම්. අයි. 2 ප්‍රභේදයට වඩා පළලින් හා ඝනකමින් යුක්තය.

එනිසා කරල්වල පෙනුම සිත් ගන්නා සුළු වේ. ඒවාට වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් ඇත. ඵලාවරණය ඝනකමින් වැඩි බැවින් වියළීම සඳහා ගත වන කාලය සාපේක්ෂව වැඩිය. යල කන්නයේ වගාව සඳහා වඩාත් යෝග්‍ය වේ.

කොළ කොඩවීමේ සංකීර්ණයට වෙනත් ප්‍රභේදවලට වඩා හොඳින් ඔරොත්තු දෙයි. පැළ සිටුවා දින 60 කින් පමණ වගාවේ 50% මල් පිපීම දැකිය හැක. ජලසම්පාදනය යටතේ යල කන්නයේ දී හෙක්ටයාරයකට වියළි මිරිස් ටොන් 2.5-3.0 ක් පමණ ලබා ගත හැකිය. වගාව හොඳින් නඩත්තු කිරීමෙන් බෝගයේ ආර්ථික ජීවිත කාලය මාස 6 කට වඩා දීර්ඝ කර ගත හැකි වේ.අමු මිරිස් සඳහා වගා කරන්නේ නම් හෙක්ටයාරයකට ටොන් 12 කට වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

වියළන ලද මිරිස් මුල් කාලයේ දී මනා පැහැයකින් යුක්ත වුවත් මාස දෙකකට පමණ පසුව රතට හුරු කළු පැහැයට හැරේ. වියළීමට වැඩි උත්සාහයක් ගත යුතු නිසාත්, ඇන්ත්‍රෑක්නෝස් රෝගයට පහසුවෙන් ගොදුරු වන නිසාත්, වියළි මිරිස් නිෂ්පාදනය සඳහා මෙම ප්‍රභේදය යෝග්‍ය වනුයේ යල කන්නයටය. කරල් සැරෙන් වැඩිය. මෙම ප්‍රභේදය අමු මිරිස් නිෂ්පාදනය සඳහා වඩාත් යෝග්‍ය වේ.

ආපසු ^

අරුණළු

1996 දී නිර්දේශ කර ඇති මෙම ප්‍රභේදයේ මව්පිය දර්ශ වනුයේ එම්. අයි. 2 හා සන්තාකා (MI-2 X Santaka) යන ප්‍රභේද දෙකයි. ශාකය සෙන්ටි මීටර් 50-60 ක් පමණ උස් වේ. ළපටි කරල් උඩට හැරී හටගන්නා අතර කරල් මෝරා බර වැඩි වන විට තරමක් දුරට පහළට නැමේ. සිහින් කරල් සෙන්ටි මීටර 8-11 ක් පමණ දිගින් යුක්තය. ඵලාවරණය තුනී බැවින් පහසුවෙන් වියළා ගත හැකි වේ.

කරල් නෙළීම සෙසු ප්‍රභේදවලට වඩා සතියක් පමණ කලින් එනම්, සිටුවා දින 75 කින් පමණ ආරම්භ කළ හැකි අතර දීප්තිමත් රත් පැහැයෙන් යුතු වියළි මිරිස් නිෂ්පාදනයට වඩාත්ම උචිත ප්‍රභේදයකි. පළමු අස්වනු වාර 3-4 තුළ දී ලැබිය හැකි මුළු අස්වැන්නෙන් 75% ක් පමණ ලබා ගත හැක. යල කන්නයේ දී හෙක්ටයාරයකට වියළි මිරිස් ටොන් 2.5-3.0 ක් පමණ ද, මහ කන්නයේ දී ටොන් 1.5 -2.0 ක් පමණ ද ලබා ගත හැකි වේ. නියඟයට හා ඇන්ත්‍රැක්නෝස් රෝගයට ඔරොත්තු දෙන නමුත් කොළකොඩවීමට ඔරොත්තු නොඳේ. කරල් ඉහළට එසවී ඇති බැවින් අස්වනු නෙළීමේ දී රිකිලි කැඩී යාමට ඉඩ ඇති හෙයින් පරෙස්සමින් කළ යුතු වේ.

ආපසු ^

එම්.අයි. හොට්

2002 වසරේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කරන ලද ප්‍රභේදයකි.

(BL- 39 X IR) X KA-2 යන ප්‍රභේද තුනේ එකතුවක් ලෙස මෙය බිහි වී අමු මිරිස් මෙන්ම වියළි මිරිස් නිපදවීම සඳහා ද එකසේ සුදුසුය.

කරලක් සෙන්ටි මීටර 8-9 ක් පමණ දිගය. සෙන්ටි මීටර 60 ක් පමණ උස පරිණත ශාකයේ මධ්‍යස්ථ ලෙස අතු පැතිරී තිබේ. ඇන්ත්‍රැක්නෝස් රෝගයට තරමක් දුරට ඔරොත්තු දෙන නිසා වියළි මිරිස්වල ඇතිවන සුදු කරල් සංඛ්‍යාව අඩුය. සෙසු ප්‍රභේද සියල්ලටම වඩා දිලීර රෝගවලට ප්‍රතිරෝධිතාවයක් දක්වයි. මහ කන්නයේ දී අහස් දියෙන් උස් බිම්වල වගා කළ හැකි ප්‍රභේදයකි. අඩු තෙතමන තත්ත්වවල දී පවා වගාව හොඳින් නඩත්තු කළ හැකිය.

හෙක්ටයාරයකට වියළි මිරිස් ටොන් 3 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. සෙසු ප්‍රභේදවලට සාපේක්ෂව සැර භාවය අඩුය.

ආපසු ^

එම්.අයි. ග්‍රීන්

අමු මිරිස් මෙන්ම වියළි මිරිස් සඳහා ද යෝග්‍ය වන මෙම ප්‍රභේදය 2009 වර්ෂයේ දී නිර්දේශ කරන ලදී. මිරිස් අභිජනන වැඩ සටහනෙහි සාර්ථක ඵලයක් වන මෙම ප්‍රභේදයෙහි පෙළපත මිරිස් ප්‍රභේද තුනක (MI - 2 x IR) ×(MI - 2 x 142A) එකතුවකි. සිරස් ලෙස සෙන්ටි මීටර් 75-100 දක්වා උසට වැඩෙන මෙම ප්‍රභේදය දිවයින පුරා වගා කිරීමට නිර්දේශ කර ඇති වුවත් විශේෂයෙන්ම උතුරු පළාතේ වගාවන්වල දී ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත. සෙන්ටි මීටර 12-14 පමණ දිගින් යුත් කොළ පැහැති සිහින් මේරූ කරල් සිත් ඇද ගන්නා පෙනුමකින් යුක්තය.

වියළි මිරිස් නිෂ්පාදනයේ දී වැඩි කාලයක් පැහැය නොවෙනස්ව තබා ගත හැකි වීමත් ඉතා සැරභාවයකින් යුක්ත වීමත් නිසා වියළි මිරිස් නිෂ්පාදනයට වඩාත් සුදුසුය. ඇන්ත්‍රැක්නෝස් හා සෙසු දීලීර රෝගවලට දක්වන මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවය නිසා මහ කන්නයේ වගාවන් සඳහා ද යෝග්‍ය වේ. හෙක්ටයාරයකට ටොන් 03 ඉක්මවූ වියළි මිරිස් අස්වැන්නක් මෙන්ම අමු මිරිස් නිෂ්පාදනයේ දී ටොන් 15 ඉක්මවූ අස්වැන්නක් මෙහි අස්වනු විභවයන් වේ. මිරිස් කරලේ පොත්ත එතරම් ඝනකම් නොවන නිසා ඉදුණු කරල් දින 04 කදී පමණ වියළා ගත හැකි වේ.

ආපසු ^

ගල්කිරියාගම වරණය

විශේෂයෙන්ම උතුරු මැද පළාත සඳහා යෝග්‍ය වන මෙම ප්‍රභේදය දඹුල්ල ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවීන් පාරම්පරිකව වගා කළ විවෘත පරාගික වගා දර්ශයකින් තෝරාගත් වරණයක් ලෙස 2009 දී නිර්දේශ කරන ලදී. සෙන්ටි මීටර් 60-65 පමණ උසකින් යුත් සිරස් වර්ධන විලාශයක් පෙන්වයි. පත්‍ර තරමක් කුඩාය. කරල් සෙන්ටි මීටර් 8-10 පමණ යුත් සිහින් දිගටි හැඩයක් ගනී. අමු හා වියළි මිරිස් සඳහා උචිත වන අතර හොඳ සැර භාවයකින් යුක්තය. හෙක්ටයාරයකට අමු මිරිස් ටොන් 12-15 මෙන්ම හෙක්ටයාරයකට ටොන් 3 පමණ වියළි මිරිස් අස්වැන්නක් ද ලැබිය හැකි ප්‍රභේදයකි.

කොළ කොඩවීමට හා දිලීර රෝග සඳහා ඉහළ ප්‍රතිරෝධීතාවයක් පෙන්වන ප්‍රභේදයකි. හොඳ සැරභාවයකින් යුක්ත වීමත් කරල්වල සිත් ගන්නා කොළ පැහැයක් අමු මිරිස් නිෂ්පාදනයේ දී ඉතා වැදගත් වේ. තවද වර්ණයේ වෙනසක් නොවී වියළි මිරිස් ලෙස මාස 05 ක පමණ කාලයක් ගබඩා කර තබා ගත හැකි වීම මෙම ප්‍රභේදයේ ඇති විශේෂ ලක්ෂණයන් වේ.

ආපසු ^

එම්.අයි වැරණියා 1

පහතරට තෙත් කලාපයේ ගම්පහ, කළුතර, කොළඹ, ගාල්ල වැනි ප්‍රදේශවල කුඩා කොරටුවල පාරම්පරිකව වගා කෙරෙන මිරිස් වගා දර්ශයක් ලෙස වැරණියා දැක්විය හැක. අමු මිරිස් ලෙස මෙන්ම තරමක් මේරූ කරල්වල අඩු සැරභාවය නිසා ව්‍යංජනයක් ලෙස ද ආහාරයට ගත හැකි එළවළුවකි.

විවෘත පරාගික වගා දර්ශයන්ගෙන් තෝරා ගත් ගහණයක ලක්ෂණ වැඩි දියුණු කිරීමෙන් MI වැරණියා 01 ප්‍රභේදය නිපදවා 2012 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත බෝග ලැයිස්තුවට ඇතුලත් කරන ලදී. ගෙවත්තේ වගා කිරීමට, නාගරික ගෘහයන්හි බඳුන් තුළ වගා කිරීමට හා කුඩා කොරටුවල වගාව සඳහා උචිත ප්‍රභේදයකි. සෙන්ටි මීටර් 100 ක් පමණ උසට සිරස්ව වැඩෙන මෙම ප්‍රභේදයේ කරල් සෙන්ටි මීටර් 15-20 පමණ දිගින් යුක්ත වන අතර තරමක් රැළි සහිත සිනිඳු මතුපිටක් සහිතය. කරලේ කෙළවර දෙසට වක්‍රව මෙන්ම සෘජුව ද පිහිටයි. කහ පාටට හුරු ළා කොළ පැහැයකින් යුක්ත කරල් ඉදෙන විට තැඹිලි පාටට හුරු රත් පැහැයක් ගනී. කරලක බීජ 60-70 පමණ පවතින අතර පොත්ත මාංශල ගතියකින් යුක්ත වේ. මෙම ප්‍රභේදය හොදින් නඩත්තු කිරීමෙන් වසරකට වැඩි කාලයක් ක්ෂේත්‍රයේ පවත්වා ගත හැකි වේ.

හෙක්ටයාරයකට අමු මිරිස් ටොන් 20-25 පමණ අස්වැන්නක් ලබා ගත හැකි මෙම ප්‍රභේදය කොළ කොඩවීමට හා වෛරස් රෝගවලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. ඵලාවරණය මාංශල නිසා බීජ නිෂ්පාදනයේ දි ඉදුණු කරල් පලා බීජ නිස්සාරණය කර ගත යුතු වේ. බීජ නිෂ්පාදන වගාවක දී කරල් ඉදෙන කාලයේ දී වියළි කාළගුණයක් තිබීම මඟින් දිලීර රෝග හානි ඇතිවිම බොහෝ දුරට මගහරවා ගත හැක.

ආපසු ^

එම්.අයි.සී.එච්.3

අමු මිරිස් නිෂ්පාදනය සඳහා 2012 වර්ෂයේ නිර්දේශ කළ මෙම ප්‍රභේදය MI -1 ප්‍රභේදය හා Wonder Hot නම් දෙමුහුම් ප්‍රභේදයක එකතුවක් ලෙස අභිජනනය හා වරණයෙන් නිපදවූවකි.

සෙන්ටි මීටර් 60-65 පමණ උස අතු බෙදුනු පඳුරක් ලෙස වැඩෙන මෙම ප්‍රභේදයේ කරල් තද කොළ පැහැවන අතර සෙන්ටි මීටර් 8-10 තරම් දිග මධ්‍යස්ථ ප්‍රමාණයේ හා දිලිසෙන සුළු සුමට මතුපිටකින් යුක්තය. කරලේ අග කෙළවර තරමක් වක්‍රව ඇත. ඵලාවරණය තරමක් ඝනකමින් යුක්ත වන අතර අස්වනු නෙළූ පසු ඉක්මනින් මැලවී නොයයි. සිත් ගන්නා පෙනුමකින් යුත් කරල් අපනයනය සඳහා ද යෝග්‍ය වේ. කොළ කොඩවීමේ සංකීර්ණ තත්ත්වයට මධ්‍යස්ථව ප්‍රතිරෝධී වන අතර දිලීර රෝග සඳහා එතරම් ප්‍රතිරෝධීතාවයක් නොපෙන්වයි. ඉදුණු කරල් දින 5 කින් පමණ වියළා ගත හැකි හෙයින් බීජ නිෂ්පාදනය සඳහා යෝග්‍ය වන්නේ යල කන්නයයි. හෙක්ටයාරයකට අමු මිරිස් ටොන් 15-18 පමණ ඉහළ ගුණාත්මයෙන් යුත් අස්වැන්නක් ලබා ගත හැකි මෙම ප්‍රභේදය ලංකාවේ මිරිස් වගා කරන ඕනෑම ප්‍රදේශයක් සඳහා සුදුසු වේ. අස්වැන්න සහ ගුණාත්මය සැලකූ විට විදේශීය දෙමුහුම් ප්‍රභේද අභිබවා තරඟකාරීව වගා කළ හැකි ප්‍රභේදයකි.

ආපසු ^

දෙමුහුම් ප්‍රභේද

දේශීය විවෘත පරාගික ප්‍රභේදවලට අමතරව ආනයනය කරන ලද දෙමුහුම් ප්‍රභේදයන් ද වගා කිරීමට ගොවීන් පෙළඹී ඇත.

දෙමුහුම් දිරියෙන් යුක්ත වීම, උසස් අස්වැන්නක් ලබා දීම හා අස්වැන්නේ ගුණාත්මය වැඩිවීම මෙම ප්‍රභේදවල තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයන්ය. ප්‍රධාන වශයෙන් අමු මිරිස් නිෂ්පාදනයටත් වියළි කන්නයේ දී වියළි මිරිස් නිෂ්පාදනය කිරීමටත් දෙමුහුම් ප්‍රභේද යොදා ගත හැක. සාමාන්‍යයෙන් වගා කරන විවෘත පරාගික ප්‍රභේදයන්ගේ මෙන් නොව දෙමුහුම් බීජ යොදා ගැනීමේ දී පළමු වගාවේ දී කරල් වලින් ලබා ගන්නා බීජවල වර්ග පාරිශුද්ධතාවය ඊළඟ පරම්පරාවේ දී බලාපොරොත්තු විය නොහැකිය.

එබැවින් සෑම නව කන්නයක් පාසාම දෙමුහුම් බීජ මිලට ගැනීමට සිදුවේ. මෙම බීජ මිලෙන් අධික බැවින් සාමාන්‍ය ක්‍රමයට ක්ෂේත්‍රයේ තවාන් දැමීමට වඩා බඳුන් හෝ කුට්ටි තවාන් ක්‍රම උපයෝගී කර ගැනීම උචිතය. තවද බොහෝ ආනයනික දෙමුහුම් ප්‍රභේද අපගේ පරිසර තත්ත්වයනට නොගැලපෙන හෙයින් දෙමුහුම් ප්‍රභේද වගා කරන්නේ නම් එම ප්‍රභේද දේශීය තත්ත්ව යටතේ වගා කිරීම සඳහා යෝග්‍ය බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබීම ඉතා වැදගත් වේ.

ආපසු ^

වෙනත් වගා දර්ශ

වියළි හා අමු මිරිස් ලෙස සාමාන්‍යයෙන් අප පරිභෝජනය කරන මිරිස් කැප්සිකම් ඇනම් (Capsicum annuum) විශේෂයට අයත් වන අතර කොච්චි, නයි මිරිස්, හෝමිරිස් හා කැවුම් මිරිස් ලෙස හඳුන්වන වෙනත් වගා දර්ශයන් කැප්සිකම් චයිනෙන්ස් (Capsicum chinense) හා කැප්සිකම් ෆ්රුට්සන්ස් (Capsicum frutescens) විශේෂයනට අයත් වේ. මෙම විශේෂයන්හි පවතින විශේෂත්වය වන්නේ කරල් ඉතා සැරභාවයකින් යුක්ත වීමත් ඒවාටම ආවේණික වූ සුවඳක් තිබීමත් වේ. ලෝකයේ පවතින සැර අධිකම මිරිස් ලෙස මෙම නයි මිරිස් (කැප්සිකම් චයිනෙන්ස්) දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා අතරමැදි කලාපයේ ගෙවතු ආශ්‍රීතව හමුවන මෙම වගා දර්ශයන් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළෙහි ඉහළ ඉල්ලුමක් පවතී. කරලේ ප්‍රමාණය (දිග, පළල), හැඩය, වර්ණය, කරලේ පිහිටීම සැරභාවය හා සුවදෙන් මෙන්ම ශාකයේ විලාශයෙන් ද මේවා එකිනෙකට වෙනස් ලක්ෂණ පෙන්වයි. බොහෝවිට කොච්චි දර්ශයන් කුරුල්ලන් මඟින් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත. කුරුල්ලන් මෙම කරල් ගිල දමන අතර ඔවුන්ගේ මළ ද්‍රව්‍යය සමඟ බීජ පසට එක්වීමෙන් ව්‍යාප්තිය සිදු වේ. එබැවින් මෙම කොච්චි දර්ශයන් කුරුලු මිරිස් (Bird chill ) ලෙස ද හඳුන්වයි.

කරලෙන් බීජ වෙන් කළ පසු දින කීපයකින් වුව ද සමහර වගා දර්ශයන්හි බීජවල ප්‍රරෝහණ ශක්තිය හීනවී යන අතර එය මෙම වගා දර්ශයන්ගේ අඩු ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇත. බොහෝ කොච්චි හා නයිමිරිස් වගා දර්ශයන් බහු වාර්ෂික තත්ත්වයක් පෙන්වයි. රෝග හා පළිබෝධ හානිවලට මෙන්ම නියඟයට ද ඔරොත්තු දෙන ලක්ෂණ පෙන්වන වගා දර්ශයන් මෙම කොච්චි හා නයිමිරිස් අතර පැවතිය ද එම ලක්ෂණ කැප්සිකම් ඇනම් විශේෂය සමඟ සම්බන්ධ කර ගැනීමට අපහසු වී ඇත. මෙම විශේෂ අතර අන්තර් අභිජනනය සිදු නොවීම හෝ ඉතා අවම වීම ඊට හේතුවයි.

ආපසු ^