Sunday, April 26, 2020

නයි මිරිස් වගාව.

මිරිස් කියන්නේ solanaceae පවුලට අයත් භෝගයක්. පොදුවේ මිරිස් කියල හැඳින්වුවත් ලොව පුරා විශේෂ ගණනාවක් තියෙනවා. අමු මිරිස්, මාළු මිරිස්, කොච්චි, නයි මිරිස්. මේ අතරින් Capsicum chinense විශේෂයට අයත් නයි මිරිස් වගාව ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කරනවා. ලොව සැරම මිරිස් විශේෂය වෙන්නෙත් නයි මිරිස්.
නයි මිරිස් වල අවේණික සැර ,සුවඳ, හැඩයන්, වර්ණයන් නිසා තවත් විවිධත්වයන් දක්වනවා සේම බොහෝ රටවල ජනප්‍රියයි. ඒ නිසාම දේශීයව විතරක් නෙමෙයි, අපනයන වෙළඳපොළත්  හොඳයි.
නයි මිරිස් කියන්නේ ටිකක් නඩත්තුව අඩු භෝගයක්. හැබැයි ඉතින් මූලික කටයුතු ටික නිවැරදිව කරනන ඕනෙ.එහෙම උනොත් වගාව වසරකට වඩා කාලයක්  පවත්වාගෙන ආර්ථික වාසි ලබා ගන්න එක අපහසු නැහැ.
තෙත් කලාපයේ වගේම අතරමැදි කලාපයේත්, ජල සම්පාදන තත්ව යටතේ වියලි කලාපයේත් වගා කරන්න පුළුවන්. හොඳින් වතුර බැස යන සාරවත් පසක් වගාවට සුදුසුයි.
වගාවට වර්ග තෝරා ගැනීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න. වෙළඳපොල ඉල්ලුම පවතින වර්ග තොර ගන්න. scotch bonnet වගේ වර්ග වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.
නයි මිරිස් බීජ කල් තබා ගන්න බැහැ. දින කිහිපයකින්ම ජිව්‍යතාව අඩු වෙලා ප්‍රරෝහණ ශක්තිය නැති වෙනවා. නිරෝගී වගාවකින් ගත් හොඳින් පිරුණ, ඉදුණු කරල් වල ඇට ඉවත් කරගෙන මඳ පවනේ වියළලා තවාන් කර ගන්නවා. හොදින් අවුවට හුරු කරපු දින 25-30ක් විතර වයස පැල ක්ෂේත්‍රයේ සිටුවන්න සුදුසුයි.
වතුර හොඳින් බැහැල යන්න කාණු එහෙම දාල,පස බුරුල් කරලා හදා ගත්ත ක්ෂේත්‍රයේ වලවල් සකස් කර ගන්න ඕනේ. වලක ප්‍රමාණය අවම අඩි 1*1*1 වත් වෙන්න ඕනෙ. කාබනික පොහොර හොඳින් කලවම් කරලා වල පුරව ගන්න.කාබනික ද්‍රව්‍ය ලෙස කොම්පෝස්ට්,දිරා ගිය ගොම/ කුකුල් පොහොර සුදුසුයි. රසායනික පොහොර අත්‍යවශ්‍ය නැති උනත් මුලික පොහොර මිශ්‍රණයක් දීමෙන් ආර්ථික වගාවක වැඩි ප්‍රතිඵල ලබන්න පුළුවන්. අනෙක් මිරිස් වලට වඩා නයි මිරිස් ගහ උසින් වගේම පැතිරීමත් වැඩියි. ඒ නිසා පරතරය අඩි 3* 2.5 වීම සුදුසුයි. වලක සිටුවන්න නිර්දේශ කරන්නෙත් එක පැලයක් පමණයි.
ක්ෂේත්‍රයේ සිටුවීමෙන් පස්සේ දින කිහිපයක් සෙවන සැපයීම, නිසි පරිදි ජල සම්පාදනය කල යුතුයි. පිදුරු වැනි වසුනක් භාවිතය, නඩත්තුවට වගේම රෝග පාලනයටත් වැදගත්.
රෝග හා පලිබෝධ සාපේක්ෂව අඩු වුවත්, ප්‍රධාන වශයෙන් මිරිස් කොළ කොඩ වීමේ වෛරස රෝගය සහ හිටු මැරීමද අනෙකුත් මිරිස් සඳහා බලපාන රෝග තත්වයන් වැළඳීමේ හැකියාව පවතින බැවින් ඒ පිලිබඳ දැනුවත්ව සහ වගාව ගැන අවධානයෙන් හිඳිමින් මුල් අවධියේදීම නිවැරදි රෝග පාලන සහ පුර්ව ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීම සුදුසුයි.

මාස 3ක් ආසන්න වන විට අස්වනු නෙලීම ආරම්භ කල හැකි වනු ඇති. එතැන් සිට හොඳ නඩත්තු සහිත වගාවක අවුරුද්දකට වැඩි කාලයක් අස්වනු නෙලීම සිදු කල හැකියි. දේශීය වෙළඳපොල සහ අපනයන වෙළඳපොල නයි මිරිස් සඳහා තවමත් හොඳ විභවයක් සහිතයි.
ඒ නිසාම ආරක්‍ෂිත ගෘහ තුල වගාවක් ලෙසත් දැන් දැන් වැඩි වශයෙන් නයි මිරිස් තෝරා ගනු දැකිය හැකියි.

දැනට නයි මිරිස් වගාවේ අත්දැකීම් ඇති හිතවතුන්ටත් දැනුම් බෙදා ගැනීමට එකතු වෙන්න ආරාධනා කරන ගමන්, නයි මිරිස් වගාව පිළිබඳව ගැටළු ඇති අයටත් ඒවා ඉදිරිපත් කරන්නට අවස්ථාව ඇති බව සිහිපත් කරනවා.